මැදවච්චිය දරුවන්ට 2019 වසර සඳහා උපකාර

කිසියම් හේතුවක් නිසා වකුගඩු රෝගී වූ අයෙකුට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ලබා දෙමින් ආධාර කිරීම මේ වන විට ලොව පුරා ඉතා බහුලව සිදු වේ. එහෙත් ලංකාවේ ‘වකුගඩු ආධාර’ ලෙස හඳුන්වන්නේ මෙම ක්‍රියාව නොවේ. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව වකුගඩු ආධාර ලෙස කතා වෙන්නේ, ‘වකුගඩු අකරණය’ නමින් හඳුන්වනු ලබන රෝගය හේතුවෙන් අසරන තත්වයට පත්ව සිටින්නන්ට රජය විසින් ලබා දෙනු ලබන මූල්‍යමය ආධාරයයි.

මෙම වකුගඩු ආධාර බෙදා දීම, ඉහත සඳහන් කළ වකුගඩු රෝගය බහුලව පැතිර පවතින ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෛනික කටයුත්තක් බවට පත්ව ඇත. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද එලෙස තම නිත්‍ය රාජකාරියක් ලෙස වකුගඩු ආධාර බෙදා දෙන කාර්යාලයක් බවට පත්ව ඇත.

යම් තැනක නිතිපතා කෙරෙන කාර්යයන් කල් යද්දී එහි සංස්කෘතියට එක්වේ. එයට තව තවත් අංග එක්වේ. අවසානයේ සාමාන්‍ය ජීවිතය බවට පත්වේ. ඒ නියාමයට අනුව මැදවච්චීය ප්‍රාදේශි ලේකම් කාර්යාලයේ වකුගඩු ආධාර ලබා දීම හා ලබා ගැනීම ද දෙපාර්ෂවයේම ජීවිත වලට බද්ධ වූ දෙයක් බවට පත් වී ඇත.

මැදවච්චිය ප්‍රදේශයේ ජීවත්වන්නන්ගේ ප්‍රධානම අදායම් මාර්ගය වන්නේ ගොවිතැනයි. වකුගඩු රෝගය ගොවිතැනෙන් යැපෙන පවුල් වල ආර්ථිකයට ඉතා අහිතකර අන්දමින් බලපෑම් ඇති කරනවා. රෝගී වීම නිසා අමතරව ඇතිවන විශාල වැය බර මෙන්ම, රෝගී වීම නිසා ඇතිවන ශාරීරික දුර්වලතා හේතුවෙන් ගොවිතැන් කටයුතු සඳහා දැක්විය හැකි දායකත්වය අවම වීම මීට බලපානවා. මෙලෙස ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම හේතුවෙන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද ඉතා අහිතර බලපෑමක් ඇතිවී තිබෙනවා. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පියා හෝ මව වකුගඩු රෝගයෙන් පෙළෙන පවුල් දෙසීයක පමණ සංඛ්‍යාවක දරුවන් තවමත් අධ්‍යාපන ලබන වයස් සීමාවේ සිටිනවා.

‘අකුර’ කියන්නේ සාර්ථකව අධ්‍යාපනය ලැබීම හේතුවෙන් ජීවිතය සාර්ථක කර ගත් නිසාවෙන්ම අධ්‍යාපනයේ අගය හොඳින් දන්නා අය එකතු වී, අධ්‍යාපනය ලැබීමට උනන්දුවන එහෙත් ඒ සඳහා අවශ්‍ය සම්පත් හීනතාවයන් ඇති අයට අධ්‍යාපනය මගහැරෙන්නට නොදී සාර්ථකව ඉගෙන ගැනීමට උදව් උපකාර කරන සංවිධානයක්.

පාසල් යන වයසේ දරුවන් සිටින සෑම දෙමාපියෙකුටම අමතර පීඩනයක් ගෙන දෙන කාලයක් වන්නේ දෙසැම්බර් මාසයේ අවසානයයි. නව පාසැල් වසර සඳහා දරුවනට පාඩම් පොත් සහ නිල ඇඳුම් කට්ටලයක් නොමිලේ ලැබුණද තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. අභ්‍යාස පොත්, පෑන්-පැන්සල් සහ බොහෝ විට නව පාසැල් බෑගයක් ඒ අතරට එක් වෙනවා. මේ ධර්මතාවය මැදවච්චියේ වකුගඩු ආධාරේ ලබා ගන්නා දෙමාපියන්ටත් පොදුයි. රෝග-සුවය සඳහා නිතිපතා ඉතා අධික වියදමක් දැරීමට සිදු වීම හා ජීවනෝපාය වූ ගොවිතැනෙ යෙදීමට අව්‍යශ ශරීර ශක්තිය අහිමි වූ මේ දෙමාපියන්ට වසරාවසානයේ මූණදීමය සිදුවන අමතර මුදල් අවශ්‍යතාවය සපයා ගැනීම විශාල ගැටළුවක්.

මේ කාරණය ගැන අවධානය යොමු කරපු ‘අකුර’ කණ්ඩායම මැදවච්චිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ආරාධනා කළා මේ පිහිටක් අවැසි දරුවන්ට උදව්වක් කරන්න අපටත් අවස්ථාවක් දෙන ලෙස. ඒ සත්කාර්යයට අත්වැල් බැඳගන්න සුපුරුදු පරිදි සයිබර් අවකාශය ප්‍රමුඛව විවිධාකාරයෙන් විශාල පිරිසක් ‘අකුර’ සමග එක් වුණා.

දරුවන් 172 දෙදෙක් සඳහා 2019 වසරට අවශ්‍ය පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ පොත් බෑග් ලබා දීම 2018 දෙසැම්බර් මස 17 වන දින මැදවච්චිය ප්‍රදේශිය ලේකම් කාර්යාලය භූමියේදි ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගිත්වයෙන්  සිදු කෙරිණි.

පහත නම් සඳහන් මහත්ම මහත්මීන් 11 දෙනාත් නිර්ණාමික දායකත්වය දැක්වූ 14 දෙනෙකුත් ඇතුළුව 25 දෙනෙකු මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇත.

  • ඩබ්. ඒ. ගෙහාන් චන්දික
  • ෆස්ලාන් හනිෆා
  • මුදිතා ධර්මසිරි
  • තරින්ද්‍ර දිලිප්
  • මනෝජ් ලසන්ත
  • ගුනිත් දේවසුරේන්ද්‍ර
  • අනුශ්කා කුරේ
  • අනුර ලියනගේ
  • නිලංග පතිරණ
  • චින්තක ඒකනායක
  • විජයන්ති සුභාෂණී

මූල්‍ය දායකත්වයට අමතරව විවිධ අයුරින් සහය වූ සියලුම හිතවතුන්ටත් මැදවච්චිය ප්‍රාලේශීය ලේකම් කාර්යාලයේ නිළධාරි මහත්ම මහත්මීන්ටත් අපගේ හදපිරි කෘතඥතාවය මින් පලකර සිටිමු.

 

වැඩසටහනේ පිංතූර එකතුව: https://www.facebook.com/media/set/?set=oa.774789526196715&type=3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: