නව වසරට නව ඉලක්කයක්

2021!

අලුත් අවුරුද්දක්, ජීවිතේට තවත් දින 365ක්.
මොකද මේ ලැබුණු අලුත් දින 365 කරන්න බලාපොරොත්තු වෙන්නෙ? මොනවද සැලසුම්?

2020!

පසුගිය අවුරුද්ද.
අලුත් අවුරුද්දෙ සැලසුම් වලට ඉස්සෙල්ල, පරණ අවුරුද්දෙ මොකද උනේ, මොනවද කළේ කියල පොඩ්ඩක් හැරිල බලමුද? 

වසරෙන් භාගයක්ම වගේ ගෙවුනෙ COVID19 එක්ක. ගෙදරට වෙලා. එහෙම නේද?

මොකද කළේ?
online tuition class/lectures වලට සහභාගි නොවී ඉන්න බැරි නිසා සහභාගි උනා, TV බැලුව, films බැලුව,  novels කියෙව්ව, phone එකෙන් games ගැහුව, නිදාගත්ත, …. ද?
හැරිල බැලුවම හිතෙන්නෙ “මොනවද මම මේ කරල තියෙන පිස්සු වැඩ? අපොයි මගෙ වටිනා කාලය!” කියලද? අන්න එහෙම හිතෙනව නම් තව ඉදිරියට කියවගෙන යන්න.

නැතිනම් හිතෙනවද, “සුපිරි ආතල් එකකින් ජීවිතේ ගෙවුන” කියල? එහෙම හිතෙනව නම් මේක කියවන්නෙ නැතිව browser එක close කරල දාන්න. හා හා, පොඩ්ඩක් ඉන්න, හිතෙන්නෙ නැද්ද “මොනාද දන්නෙ නෑ මේ අනිත් අයට කියන්න ලෑස්ති වෙන්නෙ මට නොකිය” කියල? එහෙනම් තව පොඩ්ඩක් ඉස්සරහට කියවල බලන්න. 

නැත්නම් කළේ, online tuition class/lectures වලට සහභාගි උනා, අලුත් දේවල් ඉගෙනගත්ත, අලුත් දේවල් හොයල බැලුව, අලුත් දේවල් කරල බැලුව, ජීවිතේට වටිනා යමක් එකතු කරගත්ත කියලද? එහෙම හිතුන නම්, තවත් වටිනා දේවල් ඉස්සරහට තියෙනව, කියවගෙන යන්න.

ආපහු පරණ ප්‍රශ්නෙ.
මොකද මේ ලැබුණු අලුත් දින 365 කරන්න බලාපොරොත්තු වෙන්නෙ? මොනවද සැලසුම්?

ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට ඔයාට දැනට සාර්ථක පිළිතුරත් තියෙනව නම් හෝ, පිළිතුරක් නැතිනම් හෝ, ඒ පිළිතුර තවත් ශක්තිමත් කරගන්න හෝ, පිළිතුරක් හදාගන්න සහයක් වෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නෙ. 

තීරණ

අපි දවස ගාණෙ තීරණ ගන්නව. හැම මොහොතකම තීරණ ගන්නව. 

මේ මොහොතෙත් ඔබ තීරණයක් ගන්න සූදානමින්. මොකද්ද? මේ ලිපිය තව දුරටත් කියවන් යනවද නැද්ද කියන එක. අපි මේ මොහොතේ ගත යුතු නිවැරදිම තීරණය ගමු. මේ ලිපිය ඉදිරියටම කියවගෙන යමු.
ඉතින් ඔබ ගන්න තීරණ හරියනව, වරදිනව. වැරදුනොත් ඒකෙන් පස්සෙ තවත් තීරණ ගන්නව. ඔහොම ජීවිතේ ගෙවෙනව. 

“මම ගන්න තීරණ හරි නම් මම සාර්ථකයි. වැරදි නම් මම අසාර්ථකයි”, කියල ඔබට හිතෙනවද? එහෙනම් අලුත් අවුරුද්දෙ මුලින්ම හිතාගමු, වැරදි තීරණ ගත්තොත් මම අසාර්ථකයි කියන එක, බොරුවක් කියල.

තීරණ හරියන එක, වරදින එක මිනිස් ස්වභාවය. ඒක වෙනස් කරන්න බෑ. 

හොඳම උදාහරණයක් ගමු. 
සිදුහත් බෝසතාණන් වහන්සේ මුලින්ම සය වසරක් දුෂ්කර ක්‍රියා කරනව. අවුරුදු 6ක් දුක් විඳල තමයි උන්වහන්සේට තේරුණේ ඒ ගත්තු තීරණය වැරදියි කියල. වසර 6කින් පස්සෙ උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනව. සාර්ථක වෙනව. හැබැයි උන්වහන්සේ තේරුම් ගත්ත අධික ලෙස දුක් විඳීමෙන්වත්, අධික ලෙස සැප විඳිමෙන්වත් බුද්ධත්වයට පත් වෙන්න බෑ කියල. ඒක තමයි උන්වහන්සේ ගත්තු වැරදි තීරණයෙන් ඉගෙන ගත්තු දේ.

තව උදාහරණයක් ගමු.
තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සාර්ථකව නිපදෙව්වෙ 1000 වාරයක් අසාර්ථක වෙලා කියල කියනව. කෙනෙක් ඔහුගෙන් විමසුවලු “1000 වතාවක් ඔබ අසාර්ථක උනා නේද?” කියල. ඔහු දුන්නු පිළිතුර තමයි, “නෑ මම අසාර්ථක උනේ නෑ, මම ඉගෙනගත්ත විදුලි බල්බයක් නිපදවිය නොහැකි ක්‍රම 1000ක්” කියන එන. 

ඉතින් අලුත් අවුරුද්දෙ හිතාගන්න, “මම හැම වෙලේම උත්සාහ කරනව නිවැරදි තීරණ ගන්න, නමුත් මගෙ තීරණයක් වැරදුනාට මම සැලෙන්නෙ නෑ, ඒකෙන් උගත යුතු දේ ඉගෙනගෙන ඊළඟ තීරණ නිවැරදිව ගැනීම සඳහා ඒකත් ප්‍රයෝජනයට ගන්නවා” කියල.

අධ්‍යාපනය

අධ්‍යාපනය කියන වචනය දැක්ක ගමන් හැම කෙනෙක්ටම වගේ මතක් වෙන්නෙ පාසල, අමතර පංති, විශ්ව විද්‍යාලය, වෙනත් ආයතන වලින් ලබා ගන්නා න්‍යායාත්මක/ප්‍රායෝගික අධ්‍යාපනය.

නමුත් තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි, එතනින් එහාට ගිය තවත් ගොඩාක් දේවල් අධ්‍යාපනය කියන වචනය තුළ තියෙනව කියන එක. අපි සරළව “ඉගෙනගැනීම” කියන වචනයට මාරු වෙමු. ඒකෙ අධ්‍යාපනය කියන වචනයට වඩා පරාසය වැඩියි කියල හැමෝටම හිතෙන නිසා.

ඉගෙනගන්නව කියන එක අපි ඉපදුනු තත්පරයේ ඉඳල කරනව. මේ වෙලාවෙත් කරනව, හෙටත් කරාවි. කෙනෙක් කියනව නම් “මම ඉගෙනගෙන ඉවරයි, මම හැම දෙයක්ම දන්නව” කියල, ඒක කිසිසේත්ම වෙන්න බැරි දෙයක්.

කතාවක් තියෙනවනෙ, “කොච්චර ඉගෙනගත්තත්, කවදාවත්ම ඉගෙනගෙන ඉවර කරන්න බෑ” කියල.

මොනවද එතකොට මේ ඉගෙනගන්න තියෙන්නෙ? 

අපි ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල තවත් ප්‍රශ්නයකට උත්තර හිතමු.

ඇයි අපි ඉගෙනගන්නෙ?

කෙනෙක් කියාවි, අනාගතය සාර්ථක කරගන්න කියල. ඒක ටිකක් පරාසය වැඩී වගේ, අපි තව ටිකක් පරාසය අඩු කරමු.

පාසල් අධ්‍යාපනය ලබන දරුවෙක් කියාවි, “මම ඉගෙනගන්නෙ doctor කෙනෙක් වෙන්න, engineer කෙනෙක් වෙන්න” කියල. 
විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න දරුවෙක් කියාවි “මම ඉගෙනගන්නෙ අනාගතේ හොඳ ජොබ් එකක් කරන්න, හොඳට සල්ලි හොයන්න, හොඳ වාහනයක් ගන්න.” කියල.
Technical course එකක් කරන කෙනෙක් කියාවි “මම ඉගෙනගන්නෙ මගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න” නැතිනම් “මම ඉගෙනගන්නෙ මට දෙයක් තනියම කරගන්න ඕනෙ නිසා”.
තවත් කෙනෙක් කියාවි, “මම ඉගෙනගන්නෙ ඒ විෂයට මගෙ තියෙන ආසාව නිසා, මට ඒ ගැන දැනගන්න ඕනෙ නිසා” කියල.

මේ වගේ විවිධාකාරයේ පිළිතුරු තියේවි එක එක අය ලඟ? ඔබේ පිළිතුර මොකද්ද? ඒ පිළිතුරත් මතකයේ තියාගෙන ඉස්සරහට යමු.

ආපහු පරණ ප්‍රශ්නයට.

මොනවද එතකොට මේ ඉගෙනගන්න තියෙන්නෙ? 

අර උඩ කිව්ව පිළිතුරු වල යම් සමානත්වයක් දැක්කද? ඔක්කොම කතා කරන්නෙ න්‍යායාත්මක/ප්‍රායෝගික විෂය කරුණු ගැන.
පාසල්, විශ්ව විද්‍යාල තුළ උගන්වන විෂය කරුණු විතරක්ම නෙමෙයි ඉගෙනගන්න තියෙන්නෙ, ජීවිතේ අත්දැකීම්, ක්‍රියාකාරම් හරහාත් විශාල දැනුම් සම්භාරයක් ලැබෙනව. මම ඉහතින් කිව්ව වැරදි තීරණ ගැනීම් වලදිත් අපි ගොඩක් දේවල් ඉගෙනගන්නව. (ඉගෙනගන්න කෙනා ඉගෙනගනනව, අනිත් කෙනා ඒක හලල දානව) 

අලුත් දේ ඉගෙනගැනීම, ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක් ඉවහල් වෙනව. ඒ බොහොමයක් දේවල් ඔබ නොහිතන අවස්ථා වල ඔබට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
න්‍යායාත්මක/ප්‍රායෝගික විෂය කරුණු ඔබ හිතලම ඉගෙනගන්න යනව, අර කිව්ව ජීවිතේට ලැබෙන අත්දැකීම් වලින් ඔබ නොදැනීම ඉගෙන ගන්නව. 

මගෙන්ම උදාහරණයක් ගන්නම්, න්‍යායාත්මක/ප්‍රායෝගික විෂය කරුණු ඉගෙනීම සම්බන්ධයෙන්.

මම පොඩි කාලෙ ඉඳන් ආස උනා එක එක දේවල් හදන්න. ඉතින් මගෙ සිහිනය උනේ ඉංජිනේරුවෙන් වෙන එක. ඉතින් මම ඉංජිනේරුවෙක් උනා. ඒකට මම ඉගෙනගත්ත.
මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්, කළමණාකාර රැකියාවක් කරන, මම ඉගෙනගත් න්‍යායාත්මක විෂය කරුණු භාවිතා කරන.

වසර ගාණකට ඉස්සර මට ඕනෙ උනා graphic designing/web development ඉගෙනගන්න. ඉතින් මම online tutorials, ebooks, Videos බලල යම් යම් දේ ඉගෙනගත්ත. මට ඕනෙ උනේ freelancing කරන්න ඒ ක්ෂේත්‍රයේ. ඉතින් මම ඒ ඉගෙනගත්තු දේ වලින් freelancing කරල යම් ආදායමකුත් ඒ කාලෙ ඉපයුව.
ඇයි මම ඒ දේවල් ඉගෙනගත්තෙ? ආදායම් මාර්ගයක් සකසගන්න.

වසර 3කට වගේ ඉස්සර මට ඕනෙ උනා, solar electricity generation ගැන ඉගෙනගන්න. ඉතින් මම online tutorials, ebooks, Videos හරහා තනියම Solar power system එකක් හදාගන්න හැටි හා එහි තාක්ෂණය ඉගෙනගත්ත. එහෙම කරල අවශ්‍ය කොටස් මිලට අරගෙන, තනියමම එකලස් කරල, මගෙ ගෙදර යම් කොටසක් solar electricity වලින් බල ගැන්වුවා. දැන් වසර 2ක් තිස්සෙ ගෙදර විදුලි බිල 30%කින් පමණ අඩු කරගන්න මට පුළුවන් වෙලා තියෙනව ඒක හරහා. 
ඇයි මම ඒ දේවල් ඉගෙනගත්තෙ? මූල්‍යමය ඉතිරියක් කරගන්න.

ගිය අවුරුද්දෙ මට ආසාවක් ආව, Arduino programming ඉගෙනගන්න. ඉතින් ආපහු ඉස්සෙල්ල වගේම online tutorials, ebooks, Videos හරහා තනියම ඉගෙනගත්ත. ඊට පස්සෙ මම arduino powered remote control car, light decorations, sensing systems වගේ එක එක දේවල් අත්හදා බැලුව. හොඳම එක තමා Arduino + NodeMCU + Blynk + IFTTT + Google Home භාවිතා කරල අර උඩ කිව්ව solar power system එකෙන් powered devices ඔක්කොම arduino හරහා remote control, voice control, automation කරපු එක. 
ඇයි මම ඒ දේවල් ඉගෙනගත්තෙ? විනෝදය සඳහා, විවේකය ඵලදායීව ගත කරන්න.

ඉතින් අලුත් අවුරුද්දෙ හිතාගන්න, “මම ජීවිතයට, අනාගතයට ප්‍රයෝජනවත් යමක් මේ අවුරුද්දෙ ඉගෙනගන්නව. ඒ ඇසුරෙන් මගෙ අනාගතය, ජීවිතය සාර්ථකව හා සතුටින් ගෙවන්න හැකියාව ලබා ගන්නව” කියල.

සමාජයට සේවයක්

හුඟක් අය සමාජ සේවය කරනව. සමහරු සද්භාවයෙන්, සමහරු පෙනුමට.
“මොන පිස්සුවක්ද, තමන්ගෙ දෙයක් කරගෙන, තමන්ට දෙයක් කරගෙන ඉන්නෙ නැතිව පිස්සු කරනව” කියල කියන අයත් ඉන්නව.

ඇයි අපි සමාජයට දෙයක් කළ යුත්තෙ?

“මිනිසා කියන්නෙ සාමාජීය සත්ත්වයෙක්” කියල කියනවනෙ. මොකද්ද ඒකෙන් කියවෙන්නෙ? මිනිස්සු ජීවත් වෙන්නෙ සමාජයක් එක්ක, ඒ කියන්නෙ තවත් මිනිස්සු ගොඩක් එක්ක. සාර්ථක ජීවිතයක් ගෙවන්න මේ සමාජයේ ජීවත් වෙන අනිත් මිනිසුන්වත් අවශ්‍යයි කියන එක. සමාජ සහජීවනය කියන්නෙ ඒකනෙ.
ඉතින් අපි සාර්ථක වෙන ගමන් අනිත් අයටත් සාර්ථක වෙන්න අපි උදව් කරන්න ඕනෙ. නැත්නම් අර කිව්ව සහජීවනය පවතින්නෙ නෑ.

ඉතින් එහෙම කරන්න නම් අපි අනිත් මිනිස්සුන්ට යම් ප්‍රයෝජනවත් දෙයක් දෙන්න ඕනෙ. උදව්වක්, උපදෙසක්, මොකක් හරි.

ඉතින් අලුත් අවුරුද්දෙ හිතාගන්න, “මම මගෙ දැනුම, හැකියාව, කාලය භාවිතා කරන සමාජයට, මම ජීවත් වෙලා ඉන්න වටපිටාවට යම් සේවයක්, සහයක් මේ අවුරුද්දෙ ලබා දෙනව” කියල.

හරි, මම කරුණු තුනක් ගැන කතා කළා.

  1. නිවැරදි තීරණ ගැනීම හා වැරදි තීරණ වලින් ඉගෙනගැනීම.
  2. ජීවිතයට වටිනා අලුත් දෙයක් ඉගෙන ගැනීම.
  3. තමන්ගෙ හැකියාවෙන් සමාජයට යම් ප්‍රයෝජනවත් දෙයක් ලබා දීම.

මගෙ මේ අවුරුද්දෙ සැලසුම් ගැන කියන්නම් එහෙනම්.

මම හිතාගත්ත, 

  1. තීරණ කියන්නෙ කිය කියා ගන්න වෙන ඒව නෙමෙයිනෙ. ඉතින් මම හිතාගත්ත, පහුගිය කාලෙ ගත්තු තීරණ, සිදුවීම් වලින් උගත් පාඩම් සැළකිල්ලට අරගෙන මේ අවුරුද්දෙ වඩා හොඳ තීරණ ගන්න උත්සාහ කරනව කියල.
  2. මේ අවුරුද්දෙ මම ඉගෙනගන්න බලාපොරොත්තු වෙනව, technical analysis of stock market shares ගැන ටිකක් ගැඹුරින් ඉගෙනගන්න. ඇයි? අමතර ආදායමක් උපයන්න හා දැනට ගන්න තීරණ වඩා නිවැරදි කරගන්න. Hydroponics ගැන ඉගෙනගන්න. ඇයි? තමන් හිටවපු දෙයක ඵලදාවක් භුක්ති විඳින සතුට විඳින්න හා විවේකය සතුටින් ගත කරන්න. 
  3. ඔබ සැම වෙනුවෙන් ලියාගෙන ගිය, භාගෙට ඉවර කරපු ebook එකක් ඉවර කරල ඒක හැමෝටම බෙදා හරින්න. 

හරි.
ආපහු මම ඔබෙන් අහනව, මම මුලින්ම අහපු ප්‍රශ්නෙ.

මොකද මේ ලැබුණු අලුත් දින 365 කරන්න බලාපොරොත්තු වෙන්නෙ? 

දැන් ඉතින් පිළිතුරු දෙන්න තියෙන්නෙ.

දෙන්න පිළිතුරක් දැනටමත් තියෙනව නම්, අනිත් අයත් එක්ක ශෙයා කරන්න කැමති නම්, පහළින් කමෙන්ට් කරන්න. අනිත් අයටත් සහයක් වෙයි තමන්ගෙ ඉලක්ක තව වැඩිදියුණු කරගන්න.
දෙන්න පිළිතුරක් තාමත් නැත්නම් තවත් පමා වෙන්නෙ නැතිව පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරල බලන්න. පිළිතුරක් හදාගන්න. ඒකත් අනිත් අයත් එක්ක ශෙයා කරන්න කැමති නම් පහළින් කමෙන්ට් කරන්න.

ඔය කිව්ව දෙගොල්ලොන්ටම සැලසුම් තිබ්බට වැඩක් නෑ, ඒව ක්‍රියාත්මක කරන්න ඕනෙ. ප්‍රථිඵල ලබා ගන්න ඕනෙ. ඒ වෙනුවෙන් සැලසුම් දැන්මම හදන්න පටන් ගන්න. 

අමතර දෙයක්.
මේක මට අන්තර්ජාලයෙන් හමු උනේ. ඇමරිකානුවන් අතරෙ කරපු සමීක්ෂණයකට ප්‍රථිඵල. එයාල 2021 මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියන එක.

 

හැමෝටම සුභ පතනවා, 
සියළු අනාගත සැලසුම් සාර්ථක වෙන සුභ නව වසරක් වේවා!!!
කියල.

මම,
මාධව හබරකඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: