වසර අවසානයට පෙර ඔබේ ආදරය තිළිණ කරන්න

මද සිනා පා පිය නගන අකුරට
සුවඳ සපිරුණ මල් කැකුළු සේ
ලොවක් දිනනා හෙට දිනක් වෙත
යන්න ඔවුන්ට දිරිය දෙමු නිති…

සිඟිති මුවගක නැගෙන හසරැලි
සොඳුරු දසුනක් මැවෙයි ඉන් නිති
පෑන, පැන්සල ලබනු නොහැකිව
දහස් ගණනක් සිතින් ලතැවෙති…

වෙන්න හැකිනම් සිතට සවියක්
අකුරු කරනා සිතට දිරියක්
පහන් දැල් වූ විලස දහසක්
එළිය වනු ඇත ඔබේ නිවසත්…

අද අපි මේ සමාජයෙ ඇවිත් ඉන්න තැනට එන්න අපිට බොහෝ අය අත දුන්නා. අම්මලා තාත්තලා නෑදැයෝ ගුරුවරු මේ බොහෝ අය විවිධ ආකාරයෙන් හැකි විදියට අපිට උදව් කරා. පොත් පත් සපත්තු ඇඳුම් පැලඳුම් අරන් දුන්නා. ඉස්කොලෙ පංති ගිහින් ඉගෙන ගන්න උදව් කලා. මතකද අම්මලා තාත්තලා අළුත් අවුරුද්දෙ අළුත් වාරෙට අළුත්තෙන්ම පොත් බෑග් වතුරු බෝතල් සපත්තු ‍ගෙනත් දුන්න දවස. ඒ අළුත් පොත් මිටිය තුරුළු කරන් සුවඳ බලපු හැටි. අළුත් පොත් වලට කවර දාලා අලවපු හැටි. ඒ පොත් සුවඳ හමන අළුත්ම බෑග් එකක දාගෙන අළුත් ඇඳුම් ඇඳලා අළුත් සපත්තු දාලා අළුත් වාරෙට පාසල් ගිය හැටි. ඒ ගිහිල්ලත් පොත්වලින් හමන අළුත් සුවඳ විඳපු හැටි. ඒ අත්දැකීමට අපි තාමත් ආසයි. එදා එහෙම පාසල් ගිහින් අකුරු කරපු අපි අද මේ සමාජයට යහපත් පුරුවැසියො විදියට යමක් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නවා.

අපිට එතනට එන්න අවශ්‍ය පහසුකම් ලැබුනත් එදා වගේම අදත් ඒ දේ නොලැබෙන පිරිසකුත් අපි අතරම ඉන්නවා. ඒ කලෙ හිටිය අය අපිට මග ඇරෙන්න ඇති. ඒත් හෙට දවසෙ ලෝකය දිනන්න බලාගෙන ඉන්න කාගෙ හරි උදව්වක් ඕන පුංචි දරුවො අපි අතර ඕන තරම් ඉන්නවා. ඒ වගේ පුංචි දරුවෙකුට පුංචි අත්වැලක් වෙන්න පුළුවන් නම් ඒ දරුවන්ටත් හෙට දවසෙ යහපත් පුරවැසියෙක් මේ සමාජයට එන්න හැකිවේවි.

හේතුව මොකක් උනත්, ඉතිං අපිටත් පුළුවන් ඒ සත්කාරයට හැකි අයුරින් අපි අවට ඉන්න උදව් දරුවන්ට 2018 අලුත් පාසල් වාරයට පෙර ඔවුන්ට අවශ්‍ය කරන පොත්පත්, පාසල් බැග් හෝ සපත්තු වගේ දෙයක් තැගී කලොත් ඒ කුඩා දරුවොන්ගෙත් ඔබෙත් නව වසර වඩා ප්‍රීතිමත් වනු ඇත.

 

ස්තුතිය:
පද වැල්: අනුදි රන්මුතු
සටහන: අසිරු කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: