බත්තලංගුණ්ඩුව දරුවන් බලා ගිය ගමන..

මේ කෙටි සටහන ඉතා කෙටි කාලයක් තුළ (ආපදා සහන සේවා හැරුණු කොට) අප සිදු කළ පළමු ව්‍යාපෘතිය  පිළිබඳවයි.

අතක් මෙන් ඉහලට නෙරා ගොස් ඇති කල්පිටි අර්ධද්වීපයේ සිට කිලෝමීටර 40ක් පමණ ඈතින්, කල්පිටියේ දූපත්හි අවසාන දූපත ලෙස බත්තලංගුණ්ඩුව දූපත පිහිටා තිබේ. එහි කුඩා පාසැලකි. සතියේ දිනෙක එහි ගියහොත් ඒ දරුවන් අකුරු කරනු දැකබලා ගැනීමට ද හැකිය. තනි තට්ටුවේ ගොඩනැගිල්ලක එක වසරේ සිට 7 වන වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉගනුම ලබති.

ඒ පාසැලේ දරුවන්ට රජයෙන් නොමිලේ ලැබෙන පෙළපොත් හිමි නැත. රජයේ ගුරුවරුන් හිමි නැත. රජයෙන් ලැබෙන නිශ්චිත විෂයය මාලා ඔවුනට නැත. කොටින්ම, මේ දරුවා දැන් 8වැනි වසර සමත්යැයි සහතිකයක් ගැනීමේ හැකියාවක් ද ඔවුන්ට නැත. ඒ පාසැල රජයේ අනුමත එකක් නොවේ. දූපතේ දරුවන්ට යම්තාක් දුරකට අධ්‍යාපනයක් ලබාදීමේ අදහසින් මෙම පාසැලේ ඉගැන්වීම් කටයුතු නාවික හමුදාවේ භටයකු විසින් මෙහෙයවනු ලැබේ. ඔහුගේ අධීක්ෂණය යටතේ පාසැල පාලනය වේ.

බත්තලංගුණ්ඩුව දූපතේ නාවික හමුදා කඳවුරේ සිටින පීරිස් නම් වූ ඒ නාවික භටයා සේවයක් වශයෙන් කරන ඉගැන්වීමේ කටයුත්ත ප්‍රශංසනීය එකකි. ඒ ගැන වැඩිදුර අදහස් දැක්වූ නාවික හමුදාවේ කල්පිටිය ප්‍රදේශය භාර අණදෙන නිලධාරියා පැවසුවේ,

“මේ දරුවන්ට මොනවහරි දෙයක් ඉගැන්වුවොත් අපි හිතනවා ඉදිරි කාලයේ මේ දූපත් වල දරුවෝ නොමනා ක්‍රියා වලට යොමුවන එකක් නැහැ කියලා. අපේ පැත්තෙන් දරුවන්ට අපි උගත් නාවික භටයෙක් යොමුකරලා යම් අධ්‍යාපනයක් ලබා දෙනවා. එය සර්ව සම්පූර්ණ එකක් කියන්නට අපහසු යි. ඒත් අපට හැකි පමණ අපි දරුවන්ට යම් දැනුමක් දෙන්නට උත්සාහ කරනවා. දරුවන්ට මෙතනින් එහාට යම් වෘත්තිය පුහුණුවක් හෝ ලබාදෙන්නට පුළුවන් නම් හොදයි. එවැනි දෙයක් යම් පිරිසක් කරනවා නම් අපිට යම් සහායක් දෙන්නත් පුලුවනි”. අමිල චතුරංග ගේ Roar ලිපියෙන් 

 

ගමනේ මූලිකම අරමුණ වුනේ දූපත තුළ තිබෙන කුඩා, අවිධිමත් පාසලේ දරුවන්ට කියවීමට අවශ්‍ය පොත්පත් හා පාසල් බෑග් මෙන්ම, පාසලේ සිටින එකම ගුරුවරයා වන නාවීක හමුදාවෙන් රජාකාරියේ යෙදු (සිවිල්) ගුරුතුමාට අවශ්‍ය විෂය නිර්දේශ හා ගුරුඅත්පොත් ලබා දීමත්ය.

මේ කාර්යය මෙලෙස සාර්ථක වුයේ දරුවන් වෙනුවෙන් ප්‍රජාවක් ලෙස වගකීමෙන් කටයුතු කළ ඔබේ සහය නිසයි. අපේ කෙටි දැණුම් දීමකින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු පෙළපොත් ගැන විශේෂ සඳහනක් කළ යුතුයි.  තමන්ගේ නිළ රාජකාරියෙන් එපිට, නමුත් සමාජ වගකීමක්වන යමක් කිරීමට සැමවිටම රජයේ නිළධාරීන් සැදි පැහැදී සිටීම අපි හදවතින්ම අගය කරන්නෙමු.

අදාල පොත්පත් සහ දරුවන්ට පොත් බෑග් බෙදා දීමට නාවික හමුදාවේ නිළධාරින් සම්බන්ධ  වූ අතර දරුවන් සමඟ කෙටි වෙලාවක් ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදීමටත් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත්   අපට හැකි විය.  ඉන්පසුව,දූපත්වාසී අමිල රණවීර මහත්මා විසින් සූදානම් කළ දීවා ආහාරය බුක්තිවිදිමෙන් අනතුරුව කල්පිටි ගොඩබිමට ඉක්මනින් ළඟා වීමට අපට හැකි වුයේ ඔහු විසින්ම සපයා දුන් ප්‍රවාහන සේවය නිසාවෙනි.

මෙම ව්‍යාපෘතිය සඳහා දරුවන්ට අවශ්‍ය පාසල් බෑග් ලබා දීම ඉංදික ගමගේ මහතාද, දරුවන්ට කියවීමට පොත් ලබා ගැනීම  සඳහා ආචාර්ය ගයාන් ජයකොඩි මහතාද දායක විය. ඉංදුනී මාදුවගේ මහත්මියද දරුවන්ට කියවීමට සුදුසු පොත් පරිත්‍යාග කලාය. තවද නම සඳහන් නොකිරීමට ඉල්ලු හිතවතෙක් දුපපතේ පවුලක හෝ දෙකක දරුවන්ට රාත්‍රියේදි ඉගෙනුම් කටයුතු කරගැනීම සඳහා සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කරගන්නට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ පරිත්‍යාග කරන ලදි (අදාල උපකරණ බෙදා දීම සඳහා එක් පවුලක් තොරාගැනිමේ ගැටලුවක් ආ නිසා, සුදුසු පරිදි පාසලේ භාවිතයට ගැනීමට අපි එම උපකරණ නාවික හමුදාවට ලබා දුනිමු.).

බත්තලංගුණ්ඩුව ගමනේදි, කල්පිටියේ සිට දූපත දක්වා වූ ටෝලර් යාත්‍රා ගමනේදි බඩු බාහිරාදිය සඳහා අයකිරීමක් නොකිරීමට අදාල ප්‍රවාහන සේවය කටුයුතු කිරීමද අදාරයෙන් සිහිපත් කරමු.

2018 මැයි මස 9 වන දින සිදු වූ බත්තලංගුණ්ඩුව ගමනේ පිංතුර කිහිපයක් මේ සමඟ ඇත.

 

 

කල්පිටිය ධීවර ජැටියෙන් ගමන ඇරඹීමට මොහොතකට පෙර..

 

කල්පිටියේ සිට බත්තලන්ගුන්ඩුව දක්වා ගමන ටෝලර්යාත්‍රාවක

 

 

බත්තලන්ගුන්ඩුවේ දරුවන්

හොඳම දේ දරුවන්ට!

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු පෙළපොත් සමඟ බත්තලන්ගුන්ඩුවේ දරුවන්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: